Saturday, September 5, 2015

රිදී විහාරය

කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය

            කුරුණෑගල නගරයේ සිට කැප්පෙටිපොළ මාර්ගයේ රිදීගම නගරය පසුකර මදක් ඉදිරියට ගිය විට අහස්කුස පරයා නැගී සිටින අඩි 200 ක් පමණ උස්වූ කදු ගැටයකි. ඒ කදු පාමුල ඉපැරණි කටාරම් කෙටූ ගල් ලෙන් , ගුහා , පොකුණු ආදියෙන් සැදි පුරාවිද්‍යාත්මක සාධකවලින් හෙබි ආරාමයක නටබුන් දැකිය හැකිය. අවුරුදු දෙදහසක පමණ දිගු ඉතිහාසයක් ඇති මුල්කාලයේදී වනවාසී රහතන් වහන්සේලාගේ සේනාසනයක්ව පැවති මෙය අනෙකක් නොව රිදී විහාරයයි.
          ලංකා ඉතිහාසයේ ආරම්භය තරම් දිගු ඉතිහාසයක් රිදී විහාරයට ඇත. රිදී විහාරයට මෙන්ම රිදීගමට ද රිදී සම්බන්ධ වන්නේ දුටුගැමුණු රජුගේ පුවතක් ( ක්‍රි.පූ. 161 – 137 ) ඇසුරෙනි. මේ අවධියේ මෙම ප්‍රදේශයේ ඉන්ද්‍රගුප්ත නමින් රහතන් වහන්සේ නමක් වැඩ වාසය කර ඇත. මහාවංශයේ සදහන් පරිදි රුවන්වැලි සෑය ගොඩනැගීමටත් එහි තැන්පත් කිරීමටත් වස්තුව සොයන විට රිදී විහාරය පිහිටි ස්ථානයේ දී රිදී හමු වී ඇත්තෙ මේ රහතන් වහන්සේගේ උපකාරයෙනි. මෙම ප්‍රදේශය හරහා වෙළෙද කණ්ඩායමක් ගමන් කිරීමේදී ගැල් බැදි ගවයන් තරමක් දුරස්ථ වී සොයන විට වරකා ගසක් දැක ඇත. ඉන්ද්‍රගුප්ත හිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේලා හතර නමක් ඒ අසල වැඩ සිට ඇති අතර වෙළද කණ්ඩායම වරකා පිළිගන්වා ඇත. පසුව යාමට අවසර ඉල්ලා ඇති විට උන්වහන්සේලා මෙම විහාරය හරහා පිහිටි මාර්ගයක් පෙන්වා දී තිබේ. පිරිස එසේ යන විට රිදී ඉල්ලමක් දැක තම රජ්ජුරුවන්ට සැල කර ඇත. ඉන්පසු ඇමතිවරු ලවා රිදී අස්කරවා ගෙන ඇති අතර රිදී ලැබුණු සන්තෝෂයට මේ ස්ථානයේ විහාරයක් කරවා ඇත. එය ^ රජත ලෙන ^ කියා පසුව ප්‍රසිද්ධියට පත්විය.
          මෙසේ ආරම්භ වූ රිදී විහාරයෙහි අභිවෘද්ධිය සදහා ආමණ්ඩගාමිණී අභය ( ක්‍රි.ව. 21 – 31 ) , මහා පැරකුම් රජු ( ක්‍රි.ව. 1153 – 1186 ) නිශ්ශංකමල්ල ( ක්‍රි.ව. 1187 – 1196 ) සහ මහනුවර රාජධානි සමයේ බලයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ ( ක්‍රි.ව. 1747 – 1782 ) යන පාලකයන්ගේ  අනුග්‍රහය ලැබී ඇත.
          රිදී විහාරයේ නටබුන් ප්‍රධාන කොටස් තුනකි. එනම් මහා විහාරය , උඩ විහාරය සහ වරකා වැළදූ විහාරය යනුවෙනි. මෙකී තුනම ගල් ගුහා වලින් යුක්තය. මෙහි ඇති පැරණිම විහාරාංග අතරින් ඉපැරණිම අංගය වන්නේ මහා විහාරයයි. ඊට ඇතුළුවන දොරටුව අසල තොරණකි. මේ තොරණේ එන දේව රූප හා සත්ත්ව රූපවලත් හින්දු සමය නිරූපණය කරයි. උඩ විහාරයට යාමට ඇති දොරටුව අසල ඇති ඇත්දළ කැටයම් වලින් යුත් උළුවස්ස රිදී විහාරයේ ප්‍රකට කැටයමකි. දේශීය කැටයම්වලින් අලංකාර කර ඇති මෙය ලංකාවේ එකම ඇත්දළ උළුවස්සයි. මෙම විහාරය තුළ ඇති ප්‍රතිමාවන් අතර රන් ආලේපිත පිළිමය , දහ අටරියන් සැතපෙන පිළිමය , මෛත්‍රී බෝසත් පිළිමය ඉපැරණි ඒවා වේ. මෙහි ඇති සැතපෙන පිළිමය සිරස්තල ලීයෙන් නිමවා ඇත. ඒ ඉදිරියේ ඇති මලසුනේ අන් තැනක දක්නට නොලැබෙන පිගන් ගඩොල් මහනුවර රාජධානි සමයේ සවි කළ ඒවාය. මේවායේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව තිබේ. සැතපෙන පිළිමය පාමුල දුටුගැමුණු රජ රුව ද , මෛත්‍රී බෝධිසත්ත්ව පිළිමය ද අඹා ඇත. මෙම පිළිමයට සමාන්තරව වම් පැත්තේ හිටි පිළිම නවයකි. මෙම ලෙන් විහාරය මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය මැනවින් නිරූපණය කරයි.
          උඩ විහාරය වැදගත් වන්නේ එහි ඇති සිතුවම් නිසාය. මෙහි බිත්තිය මහනුවර යුගයේ චිත්‍ර වලින් අලංකාරය. සොළොස්මස්ථානය , සූවිසි විවරණය , නවනාරි කුංජරය , ගජසිංහ , නරසිංහ ඒ අතර විශේෂිත සිතුවම්ය. එසේම ලෙන් විහාරයේ වැඩසිටින පිළිමයට පිටුපසින් රාමායණයේ එන ඇතැම් සිද්ධීන් නිරූපණය වේ. මෙකී විහාරයේ සිතුවම් අදින ලද්දේ දෙවරගම්පළ සිල්වත් තැනය. උඩ විහාරයට යාබදව තවත් කුඩා ලෙනකි. එහි ලෙන් බිත්තියේ හිස අලංකාර චිත්‍රවලින් සරසා ඇත. උඩ විහාරයේ දකුණු පසින් විෂ්ණු හා කුමාර බණ්ඩාර දෙවියෝ ද වෙයි. මෙය මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නිර්මාණයකි. හින්දු ආභාසය නිසා මෙවැනි නිර්මාණ සිදු කරන්නට ඇත. උඩ විහාරයට ඇතුළු වන දොරටුව අසල අලංකාර කොරවක් ගල් සහ සදකඩපහණ දක්නට ඇත.
          මෙම විහාරයේ තවත් වැදගත් අංගයක් වන වරකා වැලදූ විහාරය තනි කළු ගලින් නිමවූවකි. පිහිටි ලෙනක ගර්භය තුළ බුදුරුව සහිත මල් අසුන ද , පිටත ශෛලමය මණ්ඩපයක් ලෙස ද නිමවා ඇත. ඒ තුළ සමාධි පිළිමය හා ඊට පිටුපස මකර තොරණයි. එය රහතන් වහන්සේලා වරකා  වැළදූ තැන ලෙස සලකයි. මෙහි මූර්ති හා කැටයම්  වලින් පිරී පවතී. මෙම නිර්මාණයන් තුළ ද හින්දු බලපෑම කැපී පෙනේ.
          මෙහි අනෙක් විහාර අංගය වන්නේ චෛත්‍යය පිහිටි ස්ථානය හෙවත් සැරසුම්ගලයි. ඉපැරණි ආරණ්‍ය සේනාසනයක්ව පැවති සමයේ මේ ස්ථානයේ සිටි රහතන් වහන්සේලා හා යෝගාවචර භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව සිටීමටත් , වෙනත් වතාවත් සදහාත් සැරසුණු ගල් තලාවකි. මහනුවර යුගයේදී බොහෝ විහාර දේවාල සියල්ලක්ම ප්‍රතිසංස්කරණවලට හසුවීමෙන් ඒවායේ ඉපැරණි තත්ත්වය වෙනස් විය. මෙහි චෛත්‍යය දුටුගැමුණු රජු ඉදිකළත් අද දක්නට ඇත්තේ එය නොවේ. මේ හැර මහනුවර යුගයේ ඉදිවූ දේවාල ද තිබේ. කුමාර බණ්ඩාර දේවාලය , පත්තින් දේවාලය ඒ අතර කැපී පෙනේ. මේවායේ වාර්ෂිකව පෙරහැර ද පැවැත්වේ. ලංකාවේ මහාවිහාර පාර්ශ්වයට අයත් ඉපැරණි බෞද්ධ මධ්‍යස්ථාන අතර රිදී විහාරය ද උතුම් පූජනීය ආරාමයකි.



0 comments:

Post a Comment